Sunday, May 29, 2011

වැස්සට ඉඩදෙන්න... II

එය අද වැනිම මූ අඳුරු දිනයකි. නමුදු මෙතරම් වැස්සක් එදින නොවීය. කඳුකරයට කොහොමත් සුපුරුදු මල් තුහිනයක් පමණක් හාත්පස සිපගනිමින් පැවතිනි.

ඒ මීට ටිකක් නුදුරු කුඩා කඳු ගැටයකි. කො‍ටගල මාර්ගයේ ඉතාම මඳ දුරක් ගොස් දකුණු පසට හැරෙන බොරළු පාරකි. පාර දෙපසම තෘණ වර්ගය. නමක් නොදන්නා ඒ තණ පඳුරු අතරෙන් පඳුරකට එක ගනනේ කහ පැහැ සිව් පෙති මලක් ඉහලට නැඟී තිබිණි. එක යාය‍ට වැවී තිබුණු ඒ තණ පඳුරු බලන්නට ප්‍රියය. ස්වභාවධර්මයේ තනුවට අනුව ඉහල කඳුමුදුනේ ෆයිනස් ගස් ගයන ගීතයට තුහිණ මුසු වී මඳ සුලඟ සංගීතය සපයද්දී, තණ පඳුරු මතින් ඉහල නැගි කහ මල් නර්ථනයේ යෙදෙන්නට විය.

සුවඳක් නැති ඒ කහ මලක් මා  දකුණතින් කඩා ගත්තා මතකය. සාමාන්‍යයෙන් ඒ බොරළු පාරේ අවිදින අතර මග දකුණු පස පේලියේ මල් කිහිපයක්ම කඳු ගැටය මුදුනේදී මා සතුය. දකුණු පස දිගට කහ මල් කැඩුවෙක් වී නම් ඒ මම වෙමි. වම් පස දිගට වමතින් මල් නෙලන්නී ඇය වීය.

කඳු ගැටය මුදුනට පැමිණි අප, ඒ මත්තෙහි වූ කුඩා ගල්තලාවට බර වෙයි. විනාඩි පැය ඔස්සේ කතාව ඇදී යද්දී, ඇය වරක්ද, මම අනෙක් වරද, එක බැගින් කහ පැහැ මල් සුලඟේ පා කරන්නෙමු. අප ඉදිරියේ මඳ තැන්නද ඉන් ඔබ්බෙහි වූ ප්‍රපාතයද මත්තෙහි වූ සුලගෙන් පමණක් පිරි අහස් අවකාශයේ කහ පැහැ මල් පාවී යන සැටි ඇය ආසාවෙන් බලා සිටියාය. නොදැනුවත්වම ඈගේ හිස මාගේ වම් උරට බර වන්නේ ඒ අතරය.

මේ කුඩා කඳු ගැටය අපට ලොව නරඹන්නට සිනමා හලක් මෙන් විය. කතා කරමින් කල් ගෙවන්නට මල් උයනක සිමෙන්ති බංකුවක් මෙන් විය. සිතට වදදුන් අනේකවිධ ප්‍රශ්ණ විමසමින් තීරණ ගන්නට වට මේසයක් මෙන් විය. මුහුණට මුහුණ හොවා ආලය කරන්නට, හඬන්නට, අපේම තැනක් විය. කතා බහක සුරාන්තය පැමිණිවිට සංතෝශයෙන් දෑත් අල්ලා නොපුහුණු නෑඹුල් නර්ථනයක යෙදෙන්නට රඟ හලක් විය. මෙකී නොයෙක් ආකාරයෙන් ඒ කුඩා කඳු ගැටය අපේ ජීවිත හා බද්ධ වී තිබුණි.

බොහෝ දිනවල බොහෝ වේලා අප දෙදෙන එහි ඔහේ තෙපලමින කල් මරණ්නට ඇත. පුංචි වැස්සටත්  තෙමෙන්නට ඇත. අප පසු කරමින් කාලය ගතවී යන්නට ඇත.

නමුත් එදින අප එහි පිය මැන්නේ වෙනදා තරම් සංතෝෂයකින් නොවේ. පටු බොරලු පාර දෙපස සුන්දරත්වය එදින මා දුටු බවක් මට මතක නැත. වෙනදා මල් කිහිපයක්ම නෙලා ගන්නා මම එදින එක මලක් පමණක් නෙලා ගත් බව මතකය. එය මා සුළගේ පා කලේද නැද්ද යන වග මට නිනව්වක් නැත. සමහර විට ඒ අවසන් මල මා ඇයගේ හිස පලන්දන්නට ඇත.

එදින කඳු මුදුනේ කුඩා ගල් තලාවට අපේ බර නොදැනුනි. හිත් තුල බර වැඩි කමට ගල් තලාවට බරක් වෙන්නට අපට නොසිතුනි. වෙනදා මා එහි යන විට රැගෙන යන කඩචෝරු එදින මට මඟ හැරිණි. ඒ ඇයගේ හදිසි කැඳවීම නිසාය. මා වෙනුවට එදින ඇයගේ සංග්‍රහය ලෙස ඈ යෝගට් කෝප්පයක් මා අත තැබුවාය. කඳු මුදුනේ සීතල නිසාම දියවී නොතිබුණු ඒ යෝගට් කෝපපය අපගේ අවසන් භෝජන සංග්‍රහය වූ හැටි මට අදටත් මතකය. යෝගට් කටක්, උගුර හා බඩ වැල් සීතල කරමින් යද්දී ඇය වච‍නයෙන් වචනය කාරණාව ගෙතුවාය. මගේ ඇස් ඉස්මත්තේ තාත්තා අවසන් හුස්ම හෙලූ දින මට දැණුනු ලෙසම මාගේ හද ගැස්ම එදිනද තත්ත්පර කිහිපයක කෙටි විවේකයක් ගත්තේය.

ඇය මා දෙස එක එල්ලේ බලා සිටින්නට ඇත. නමුත් මගේ ඇස් තණ ගොල්ලේ කිරි කිරි හඬ නඟන කෘමියෙකු සොයා දිව්වේය. රන්වන් පැහැයට හුරු පැහැයෙන් හෙබි ඇයගේ පා වසා සිටි සුදු පැහැ රෙක්සින් පටියට වැහි බිඳක් වැටෙනු මම දුටිමි. එය දැන් ඇය හඬා වැටෙනවා විය යුතුය. සිනාසෙන ඇගේ සුදුවන් දත්වල දිස්නය ට මා කෙතරම් ලොබ බැන්දත්, දැන් ඈගේ කඳුලු පිරි දෙනෙත් දකින්නට ම‍ට හිස ඔසවනු නොහැක්කේය. මා ඇගේ අත තදින් අල්ලා ගතිමි. එය වෙනදාට වඩා සීතල බව මට දැනුනි. වෙව්ලන ඒ මෘදු අතැඟිලි අතරින් මාගේ රලු අතැඟිලි ගමන් කලේය. කෙදිනකවත් නොගිලිහෙන ලෙස පෙර දිනක බැඳ ගත් අතැඟිලි එදින මවිසන්ම ලිහිල් කෙරිණ.

කඳු ගැටයම දෙදරවමින් මහ හඬින් අකුණක් පුපුරා ගියේද එවිටමය. අප වෙනුවෙන් අහස් ගඟද හඬා වැටෙන්නට සූදානම්ය. මිලිමීටර වලින් මිණිය හැකි වූ අප අතර තිබූ පරතරය, කෙමෙන් අක්ෂාංශ දේෂාංශ වලින් මිණිය හැකි වන්නේය. ‍නැවත කෙදිනකවත් එය කුඩා මානයකට නෙඑන බව ඈ දැන් මා ඉදිරියේ සාක්ෂාත් කොට හමාරය.

මේ වස්සානයට කාලයයි. හෙට සිට වැහි කිරිල්ලියන් මා හිසට ඉහලින් පියාසර කරනු ඇත. වැහි බිරුමක් ලඟ ලඟ එද්දී, කඳු ගැට්ටට වී වැහි කුරුල්ලන් බෙදා ගෙන, අප අසලටම එන වැහිකුරුල්ලා කාගේදැයි බලා දිනුම් තෝරන තරඟයට දැන් තරඟ කරුවන් නැත. හෙට සිට නිරතරඟයෙන් ජය මටම හිමිවන්නේය. පෙර නම්, දිනන්නාට කුසලානය වන්නේ පරාජය වන්නාගෙන් උණුසුම් හාද්දකි. හෙට සිට ඒ, කුසලානයක් නැති ජයග්‍රහණය මට කුමටද?

එදින මගින්ම, මම ඇයව බසයට නංවා මං පසෙකට වීමී. රතු පැහැ ලංගමයේ කුණු ලේ පැහැ පසුපස අසුනේ වම් කෙලවරේ එදින ඇය පමණක් වූවාය. බිමට වී, බසයේ සිටින ඇගේ දෑස් දෙස මා බලා සිටිනු දුටු කොන්දොස්තරද වෙනදාට වඩා විශාල ඇස් දෙකකින් මා දෙස බලා සිටියේය. මා ද යතැයි ඔහු බලාපොරොත්තු වන්නට ඇත. නමුත් සිදුවූ සහ සිදුවන සියලු දේ ඔහුට පසක් කර දීම අනවශ්‍යදෙයකි. තුහිණය සහ මීදුම නිසාවෙන් ජනේල් වීදුරුවේ පිණි බැඳී ඇත්තේ බොඳ වූ සිහිනයක් දිස්වෙන ලෙසිනි.
දෙතුන් වරක් ගැස්සුනු බස් රථය ඉබි ගමනින් ඉදිරියට ඇදෙන්නට විය. දැන් ඈ පසුපස වීදුරුවෙන් මා දෙස බලා සිටී. එය අපැහැදිලි ඡායාවක් මෙන් විය. ඇය දෑතින්, වීදුරුවේ පිණි බිඳු පිසින්නට විය. ඒ මාගේ පැහැදිලි දසුනක් අපේක්ෂාවෙනි.

ඇගේ මුහුණේ තිබුනේ දුක්මුසු සිනහවක්ද, සිනහමුසු දුකක්ද යන්න හඳුනා ගන්නට තරම් මා හට ශක්තියක්
නොතිබිණ. මා ඇයට අත වැනුවෙමි. නමුදු මා ඊට වැඩි යමක් සමුගැනීම සැමරීම උදෙසා කළ යුතව තිබුණි. අඩුම තරමේ සෙනෙහසින් ඇගේ නලලත සිපගන්නට වත් තිබුණි. මොහොතකට පෙර, කඳුගැටය මුදුනේ ඒ සඳහා මට යහමින් අවකාශ තිබුණි. අවසානවකටදෝ මට අප දෙදෙනා වෙනුවෙන් එය කල නොහැකි විය. සමහර විට ඇයද මගෙන් එවැන්නක් බලාපොරොත්තු වන්නට ඇත. ජනෙල් වීදුරුවෙන් මා දකින්නට ඇත්තේ ඒ බලාපොරාත්තු සුන් ඇගේ මුහුණ විය හැකිය.

එදින බස් රථය කන්ද දිගේ පහලට, තිතක්ව යන තෙක්ම බල සිටි මම, පයින්ම මාර්ගය ඉහල‍ට අදුනෙමි. වැහි
බිරුමත් සමග වැහි දිය කඳුකරයම වෙලා ගත්දීත්, ‍වැහි පහස විඳිමින් ම පැමිණි මා, නතර වුනේ මෙතැනමය. ඒ මේ බස් නැවතුමම විය. අද එදිනට වඩා වර්ෂාව ද වැඩිය. සිත තුල පොරකන පාළුවද වැඩිය. අඳුරද වැඩිය. තනිකමද වැඩිය. කොතෙක් මතකයන් ආවර්ජනය කලත් තවමත් විනාඩි දහයක්වත් ගතවී නැත. තව බොහෝ වේලාවකට බස් රථයක් නොපැමිණෙනු ඇත.

ෆයිනස් ගස්වලට ඉහලින් මම අහස දෙස බැලුවෙමි. බිමට වැටෙන එක වැහි බිඳුවක් ඔස්සේ ඇස ගෙනයන්නට උත්සහ කලෙමි. ලං වන විට වේගය වැඩිවන වැහි බිඳුව ප්‍රමාණයෙන්ද විශාල වන සෙයක් මට දැණිනි. මම ෆයිනස් උඩු වියන අතුරෙන් අඳුරු අහස් පැල්ලම් දෙසම බලා සිටියෙමි.

සැනෙකින් මට නුහුරු හැඟීමක් ඇතිවිය. බලාපොරොත්තු නොවූ සිහින් තිගැස්මකුත් සමඟ ඇතිවූ ඒ හැඟිමෙන් මා මඳක් අසරණ විය. කවුරුන් හෝ මා දෙස බලා සිටිනවා වැනි සෙයක් මට හැඟුණි. හිස පහත් කර බිම බලන්නටද මම බිය වීමි. ආසාවෙන් බලා සිටි ෆයිනස් තුරුවියන මට දැන් රාස්සයන් බඳු විය.

මම එක් වරම හිස පහත් කලෙමි.

නැත. එය මායාවක් විය හැක.

මම වට පිට බැලීමි.

නැත. කිසිත් නැත. කවුරුන් හෝ නැත.

නිසැකවම එය අනවශ්‍ය තිගැස්මක් වන්නට ඇත. මම දිගු හුස්මක් ගතිමි.

නැවතත්, කුමක් හෝ නොදන්නා ආයාසයකින් මෙන් මගේ නෙත් මාර්ගයේ ඉහල දෙසට යොමු විය.

දැන් මට ඔබට යමක් කියන්නට අවැසිය. නමුත් වචන පිට නොවන සෙයක් මට දැනේ.  උගුරෙහිම වචන සිර වී ඇත.

වර්ශාවේ මහා ශබ්දය පමණක් මට ඇසේ.

මම ඔබට යමක් කියන්නට උත්සහ කරමි.

එ අතරතුර මසිත මට යමක් කියනු ඇසේ.

"කිසිත් නොකියන්න... වැස්සට ඉඩදෙන්න..."


- මතු සම්බන්ඳයි -

Thursday, May 26, 2011

වැස්සට ඉඩදෙන්න...

"කොටගල.. කොටගල.. කොටගල......"
"මහත්තයා, යනව නං නගින්න. අයේ පැය එක හමාරකට බස් එකක් නෑ..."

මා ඔහු ගනන් නොගෙන සිටි නිසාවෙන් මගින් හතර පස් දෙනෙක් පමණක් ජනේල අයිනට බර වී සිටි බසය කන්ද දිගේ පහලට ඇදෙන්නට විය.

කෙමෙන් කෙමෙන් වැහි කළුවර ද මෝදු වන්නට විය. කඳුකරේට වහිනවිට දර්ශණය මනරම්ය. එතරම්ම ගුප්තය. එතුල ගැබ්වුනා වූ භයානක කමක්ද දිස්වෙයි. හුදෙකලාව අනෙක් කරුණයි.

හුදෙකලාව උපරිමයෙන් අත්විඳින්නට කඳුකරයේ වැස්සකට මැදි වීම තරම් තවත් අත්දැකීම නැති තරම්ය. එය එතරම්ම හුදෙකලාය. මුළු වටපිටාවම නිහඬය. හිස්ය. ෆයිනස් ගස් අතුරෙන් කඳුකරය පිස හමා එන වැහි කෝඩය රැගත් සුළං ගංගාව නිසා නැගෙන ගැඹුරු "හ්ම්" හඬ නොවේනම් වෙනත් ශබ්දයක් නැති තරම්ය.

සැතපුම් ගණනක් ඈත පහල මිටියාවතකට පමණක් ලා හිරු එළියක් කලු වලාකුළු අතරින් යාන්තමට වැටී ඇත. එහා කන්දේ සිට මෙහා කන්දට "හෝ" ගාමින් වැස්ස ලඟා වන අයුරු බලා ඉන්නට ප්‍රියය. ඒ "හෝ" හඬ මා ආසන්නයේය.

දැං මුළු පළාතම වැස්සට නතුය. වැහි කිරිල්ලයකගේ වත් හඬක් නෑසේ. උන්ද නිවෙස් කරා ගොසිනි. කලින් අඳුර වැටී ඇතැයි උන් සිතන්නට ඇත.

කන්ද අයින දිගේ වැටී ඇති බස් යන පටු මාර්ගය ඔස්සේ වැහි වතුර පහලට ගලාගෙන යයි. ඒ බොරපාටය. පාරට ඉහලින් ඇති වනරොදේ ගස් අතුරෙන් රූරා වැටෙන වතුරද බොර පාටය. පහලට ගලාගෙන යන්නේද ඒ වතුරම විය හැකිය. තැන තැන මාර්ගය පලුදු වූ තැන්හී  පැදුනු වලක පිරි වතුරද ‍බොර පැහැතිය. අහසින් වැටෙන විට ඇති ලස්සන ගලා යන බොර වතුරේ නැත්තේය.

පරණ වූ කොන්ක්‍රීට් කණු හතරකින් සහ කොට බිත්ති වලින් වටවූ මේ කුඩා බස් නැවතුමේ වහලයද සිමෙන්තියෙනි. කොට බිත්ති වල එපිට පැත්තේ අඩියේ කොල පැහැ පාසි බැඳී ඇත. මෙපිට පැත්තේ ඇත්තේ සෙරෙප්පු අඩි පහර කිහිපයක් පමණි. කාලයක් පිලිසකර නොකිරීමෙන් අවපැහැ වී ඇති බස් නැවතුමේ සිට කඳුකරේ වර්ශාව විඳගැනීම මට කදිම අත්දැකීමකි. එය මට නව සොයාගැනීමක් ද විය.

කඳුකරය කොහොමත් සීතලය. අනෝරා වර්ශාව නිසා සීතල දෙගුණ වෙයි. වර්ශාවත් රැගෙන කඳු පංති උඩින් පාවී යන හුලං කෝඩය නිසා සීතල තෙගුණ වෙයි. හුලං සැරට ඇදේට වැටෙන වැස්ස, පිනක් වී බස් නැවතුම තුලටද ඇදෙයි. ඇඟේ දැවටෙක ඒ අයිස් බඳු වැහි හිරිකඩ නිසා සීතල වැඩි වන්නේ කී ගුණයකින්දැයි සිතීමට මම උත්සහ නොකළෙමි. ඒ වෙනුවට මම හුදෙකලා වැස්ස වින්දනය කළෙමි.

වැඩි ගනකමක් නැති අත්කොට කමිසයට උඩින් ඇඳ සිටි අත්නැති අළු පැහැ ස්වීටරය නිසා මඳක් සීතල පහවෙයි. ඒ උණුසුම මට කල්පනාවේ කිමිදෙන්නට ප්‍රමාණවත් නොවේ. අතේ පයේ හිරිගඩු පිපෙනෙදු දැනේ. මම දෑතම තදින් පපුව වටකරමින් බැඳගත්තෙමි.

මෙම මාර්ගයේ ගෙවල් ඉතාම දුලබය. ඉඳහිට හමුවන තේ දළු කිරන මඩුවක් හැරුණුකොට ගෙවල් ඇත්තේම නැති තරම්ය. ඉහලින් උස ෆයිනස් ගස්වලින් සැඳි වන රොදකි. පහලින් ද එයමය. තේ වගාව ඇත්තේ මීට එපිටිනි. එක දිගට ර‍ටාවට වැවූ ෆයිනස් ගස් පේලි අතුරෙන් සෑහෙන ඈතක් දිස්වෙයි. කන්ද ඉහලට බැලූවිට ඒ හිඩැස කෙමෙන් කුඩා වී නැති වී යයි. කන්ද පහලට බැලූ විටද එයම වූ නමුදු උඩ රට රේල් පාරද අපැහැදිලි ලෙස තැනින් තැන දිස්වෙයි. අද යාබද වතුවල තේ දළු නෙලන්නේ නැති දිනයක් විය හැක. නැතිනම් මේ වන විට දළු කූඩය පිටබැඳි, අවපැහැ රෙද්දක් ඔළුවේ ඔතාගත්, දිගු රිටක් අතින් ගත් දෙමළ ගැහැණුන් කිහිප දෙනෙකු වත් මේ පාරේ ඉහලට හෝ පහලට ඇදෙයි. අද කවුරුන්වත් නැත.  මොහොතකට කලින් මෙතැන පසු කර ඉහලට ඇදුනු ෆැක්ටරියේ දළු ලොරිය හැරුණුකොට මේ පාර අද හිස්ය. වෙනදාටත්  බසයක් හෝ වත්තේ ජීප් රථයක් හැර වෙන වාහනයත් මෙහි යන්නේ නැති තරම්ය. බීඩියක් බීමට හෝ කඩචෝරුවක් කෑමට බස් කුලිය ඉතුරු කරගෙන මාර්ගය පහලට ම වෙනදාට ඇවිදින මහල්ලලෙකු හෝ කුඩා ළමයකුද අද දක්නට නැත. මහ වර්ශාවේ ෆයිනස් හෙවනේ පටු මාර්ගය අද එතරම්ම පාලුය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය හුදෙකලාවකි. හුදෙකලාවත් එක්තරා කළාවක් වූ කලි, එය උපරිමයෙන් රස විඳින්නට මා පුරුදු වී අදට දෙමසකට වැඩි නොවේ. එවන් පරිච්ඡේද කාටත් ජීවිතය තුල හමුවේ. නමුත් අද මට එය අළුත් අත්දැකීමකි. බස් නැවතුමේ සිමෙන්ති වහලය දිගේ රූ‍ටා පැමිණි වතුර බිඳක් මගේ නළළට වැටිනි. වර්ශාව තවමත් එළෙසමයි. ඊලඟ වතුර බිඳුවෙන් බේරෙන්නට මම මඳක් මෑත් වීමි.

අතීතය සහ ඒ හා බැඳුනු රසමුසු දුක්මුසු තැන්හී තනිව සරන්නට, ඒ මතකයන් ඔස්සේ දිවයන්නට මෙය කදිම අවස්ථාවකි. දැන් මගේ හිතට නැඟෙන හිස් හැඟීම, බර ගතිය, ශෝකය, හුදෙකලාව පැහැදිලි කරන්නට වචන වලින් මම දක්ෂ නොවෙමි. තව පැයකට වත් බස් රථයක් මෙහි නෙඑනු ඇත්තේය. මිනිස් සුවඳක්වත් පේන මානයක් නැත්තේය. වර්ශාවට නතුව අඳුරු මාවත පසෙක හුදෙකලා බස් නැවතුමේ මා දැන් තනිය. අඳුර පරයා වර්ශාවද, වර්ශාව පරයා අඳුරද තරඟ කරයි. ඒ අයුරින්ම පාළුවද මා වෙලා ගනී.

දැන් මා අතීතයට යන්නට සූදානම්ය. මම කොට කොන්ක්‍රීට් තට්ටුව මත ඉඳ ගතිමි. පින්න දැන් එක එල්ලේ මගේ මුහුණේ වැදේ. අත තිබූ ලොම් තොප්පිය මම හිස දවටා ගතිමි. අත්ලට අත්ල අතුල්ලා පමණට උණුසුම් කරගත් පසු මා දැන් අතීතාවර්ජනයට සූදානම්ය.

හිතින් මම මගේ කතාව මුමුණමි. ඔබ අසා සිටින්න. නමුදු., කිසිත් නොකියන්න. වැස්ස මට හූ මිටි තබාවී. වැස්සට ඉඩ දෙන්න.

- මතු සම්බන්ඳයි -

Tuesday, May 17, 2011

බලාපොරොත්තුව

හොඳටම ඇති දැන් මෙතන හිටියා. තව ටිකකින් කළුවරත් වැටෙන පාටයි. පාක් එකේ සිමෙන්ති බංකුව‍ට බර දීගෙන හිටපු මම එතනින් නැගිටිටටේ යන්න කියලා. ඒත් මට යන්න බෑ.


"මේ සිමෙන්ති බංකුව මාව අල්ල ගෙනවත්ද? ඇයි මට යන්න දෙන්නේ නැත්තේ. නැත්නම් මගේ හිත මට යන්න දෙන්නේ නැද්ද? "

නෑ හිත නෙමෙයි මේ බංකුව තමයි මට යන්න දෙන්නේ නැත්තේ. මටත් වඩා අපි කරපු කියපු දේවල් දන්නේ මේ බංකුව. වරුගනන් පැය ගනන් මේ බංකුවටම බර වෙලා අපි කරපු කියපු දේවල්. වෙලාව යනවා දැනුනේ නෑ අපිට.


"මේ බංකුව මේ තරම්ම හොඳට මැදිලා තියෙන්නේ අපි වගේ ම කාලේ කන්න මෙතනට ආපු පෙම්වතුන්ගේ බරට වෙන්න ඇති. "

මැලවෙලා යන බොරපාට ඉර එළිය මේ සිමෙන්ති බංකුව උඩ‍ට වැටෙද්දී මට හිතුනා.

ඉස්සර,  පරක්කුවේගෙන එනකොට මම යං කියනකොට ඔයා බෑ කියනවා. තව ටිකක් ඉමු කියනවා. ඊට පස්සේ ඔයා යං කියන කොට මං බෑ කියනවා. තව ටිකක් ඔහේ ඉමු කියනවා. අන්තිමට මූනත් ඩිංගක් නරක් කරගෙන පොඩ්ඩක් තරහා වෙලා දෙන්නම යන්න යනවා. හැබැයි පාක් එකේ ගේට්ටුව ලඟට යද්දී ඔක්කොම තරහා නිවිලා. අපිටත් හොරෙන් අපේ අත් වැල් ආපහු පැටලිලා.

මේ පාරේ යන බස්වල  ජරා සද්දෙයි, පාක් එකේ කෑ ගහන ජරා කාක්කොයි එදා අපිට ඇහුනේ නෑ. අපි හිටියේ වෙන ලෝකෙක. ඒත් අද ම‍ට ඒ හැම සද්දයක්ම ඇහෙනවා. එකක් නෑර ඇහෙනවා.  ම‍ට හරිම හිරිකිතයි බස් සද්දේ. මට පේන්න බෑ මේ කැත කාක්කෝ.


"තොපි ඒ දවස් වල වගේම මට පේන්නේ නැතුව ඉඳපල්ලකෝ."

මං කෑ ගහලා කිව්වා. නෑ.මං කෑ ගහල නෑ. මං කෑ ගහල තියෙන්නේ හිත ඇතුලෙන්. ඒ දවස්වල වගේ හිතට එන ඕනම දෙයක් කියලා කෑ ගහන්න දැං මං මෝරලා වැඩියි. එදා වගේ නං නොසංදාල කොල්ලෙක් නිකං කෑ ගහනවා කියලා මිනිස්සු කියයි. අද එහෙම වුනොත් පිස්සු මිනිහෙක්. පිස්සෙක්ද කොහෙද. මිනිස්සු එහෙම කියයි.


"මිනිසුසංට පිස්සු. මං හොයන්නේ මගේ අතීතේ. මාව ජීවත් කරපු මගේ අතීතේ. ම‍ට හිතෙනවා ඒ අතීතේ මේ පාක් එකේ කොහේ හරි මුල්ලක වැලලිලා ඇති කියලා. මං හොයන්නේ එක. මිනිස්සුන්ට පේන්නේ ඔහේ කෑ ගහන මනුස්සයෙක් විතරයි. උන්‍ට පිස්සු. නෑ. මං කෑගැහුවේ නෑ. මිනිස්සු ම‍ට මොකවත් කිව්වෙත් නෑ. මං මොනාද මේ හිතන්නේ. මං හොයන්නේ මගේ අතීතේ. එහෙනං මොකටද මේ පිස්සු අදහස් මගේ ඔළුවට එන්නේ."


මං ආපහු හිට ගත්තා. මං යන්න ගත්තා. අඩියෙන් අඩිය ගේට්ටුව දිහාට මං ලං වුනා.
තරුණ වයසේ නාඹර ජෝඩුවක්. කෙල්ල අර කොල්ලගේ අතේ. නෑ නෑ කරේ එල්ලිලා. බලන්න ඒ කෙල්ලගේ ගවුම. ඔය වගේම කොලපාට එකක් ඔයාටත් තිබ්බා එදා. සිමෙන්ති බංකුවේ අළුත් කම‍ට නූල් ඇදිච්ච ගවුං කොටේ ම‍‍ට තාම මතකයි.


"නෑ නෑ. මේ වගේ බොලඳ දේවල් හිතන්න මං දැං කොල්ලෙක් නෙමෙයි. ළමයි ඉන්න අප්පෙක්ට වෙන හිතන්න දේවල් නැද්ද? මං හිතෙන් කොල්ලෙක් වෙලා. මං හිතෙන්ම ඒ ලෝකේ තනි වෙලා. කාලයාගේ ඇවෑමෙන් හැම දේම වෙනස් වෙලා. පොඩි එකා ඉන්න නිසා, මං මේ ලෝකේ අනාථ වෙලා කියලා හිතන්නත් බෑ. ඒත්. අපි එදා හිතපු විදිහට නෙමෙයි මේ හැමදේම දැං වෙලා තියෙන්නේ. ඒ දවස් මගේ ජීවිතේට ආපහු එනව නං. මං හරි වාසනාවන්තයි. නෑ ඒත් එහෙම වෙන්න බෑ. මේ ඇත්ත ලෝකේ. මම ජීවත් වෙන්නේ අද. එදා නෙමෙයි."


මං හෙමින් සැරේ ගේට්ටුව පහු කරා. ටිකෙන් ටික ඉස්සරහට ඇදුනා. ෂෝට් ලීව් එකක් දැම්ම හංදා නොවෙන්න ම‍ට අපේම වෙච්ච දවස් මතක් කරන්න වෙන වෙලාවක් නෑ. මාර ගහ එක්කම තියෙන තැඹිලි තට්ටුව දැං හිස්. මනුස්සයා දවසේ වියදම හොයාගෙන ගෙදර යන්න ඇති. ඉස්සර මෙතනින් ගියොත් අපි තැඹිලි ගෙඩියක් නොවරදවාම බොනවා. තැඹිලි අංකල් පුරුද්දට ම බීලා ඉවරවෙච්ච ගෙඩිය දෙකට පලලා ලොඳ පිරිච්ච හොඳ පැත්ත දෙන්නේ ඔයාට. අංකල් දන්නවා ලොඳ වල‍ට වැඩිය ආස කවුද කියලා. මං අද එනකො‍‍ට දැක්කා. ඒ අංකල් දැං ටික ටික සීයා කෙනෙක් වේගෙන එනවා. මං හිනා වුනාට මනුස්සයා හිනාවුනා මිසක මිනිහට මාව මතක නැතුව ඇති. ඔන්න ඔයත් හිටියනං තැඹිලි අංකල්ට අපිව මතක් වෙයි.

හෙමීට මම පංතිය ලඟට ගියා.

මතකද අපේ පොඩි එකී ඉපදිච්ච දවස. එදා මමත් ආපහු ඉපදුනා. ඔයාගේ තුරුල්ලේ හිටපු පොඩි එකීගේ ඇස් දෙකෙන් මං දැක්කේ මාව.


"මං අම්මවයි උඹවයි පණ වගේ බලා ගන්නවා. සත්තයි. උඹලා දෙන්නා මට ලෝකයක් වටිනවා."


මං එදා හිතිං මිමුණුවා.



"මොකද ඔච්චර බලං ඉන්නේ. ආස නං වඩා ගන්න. හැබැයි වට්ටන් නෑ. මගේ පණ. "


ඔයා එහෙම කිව්වම, නුපුරුදු අත්දෙකෙන් පොඩ්ඩා වඩා ගත්තේ මම බයෙන්. වාට්ටුවේ මිනිස්සු මං දිහා බලනවද දන්නෑ කියලා ම‍ට හිතුනා. පොඩි එකී නුහුරට අත‍ට ගත්තම මට රටක් රාජ්ජයක් හම්බ වුනා වගේ දැනුනා.



"වට්ටන්න... මේ මගේත් පණ. මං වැටුනත් මේ පණ වට්ටන්නේ නෑ."

 මං කිව්වා මතකද? අනේ. මට එදාට ආපහු යන්න ඇත්තං. නෑ මට බොලඳ වෙන්න බෑ දැන්.



"මුදලාලී. මට විස්සේ චොකලට්  එකක් දෙන්න."

මම ලඟම කඩේ මුදලාලිට රුපියල් විස්සක් දික්කරා. ඔරලෝසුව දිහා බැලුනෙත් නිකමට වගේ. හයට දහයයි. තව විනාඩි 10ත් තියෙනවා පංතිය ඉවර වෙන්න. ඔරලොසුවත් එක්කම මගේ ඇහැ ගියේ මං අමාරුවෙන් පුංචි ඇඟිල්ලට දාගෙන හිටපු ගෑණු මුද්දට. එදා හොස්පිටල් එකේ අන්තිම දවසෙදී ඔයා මගේ අතේ මේ මුද්ද ගුලි කරා. ඒත් මොනාවත් කිව්වේ නෑ. මං දිහා බලං හිටියා විතරයි. ඔයාගේ ඇහේ එක කඳුලක් වත් තිබ්බේ නෑ. තිබ්බේ බලාපොරොත්තුවක් විතරයි. ළමයි ගන්න ඇවිත් හිටපු අම්මලා තාත්තලා ගොන්න අස්සේ මං ඒ බලා පොරොත්තුව හෙව්වා.



"තාත්තී... "

ඔයාගේ ඒ බලාපොරොත්තුව ඇවිත් මගේ අතේ එල්ලුනා. ගවුං කොටෙත් උඩ දාගෙන දුවගෙන ආපු ඒ පුංචි කෙල්ල දිහාවට චොකලට් එක දික් කරන ගමන් මං ඒ ඇස් දෙක දිහා බැලුවා. මං දැක්කේ ඔයාව. මං ඔයාගේ බලාපොරොත්තුව පණ වගේ රකිනවා. සත්තයි.


"ඇයි තාත්තී බලං ඉන්නේ. තාත්තිට පරක්කු වුනාද?"

"නෑ මගේ පුතේ... අපි යං..."

පුංචි කෙල්ල ම‍‍ට දික්කරපු චොකලට් කෑල්ලකුත් කටේ දාගන්න ගමන් අනිත් අතෙන් අපේ බලා පොරොත්තුව එල්ලගෙන මං ඉස්සරහට අඩියක් තිබ්බා...

නොසංදාලයාගේ කියුං නොසංදාලයාගේ. ඕන නොසංදාලයෙක් ඕනම නොසංදාල වැඩක‍ට ගත්තට කමක්නෑ ගත්තු තැන කියලා. Powered by Blogger.