හොඳටම ඇති දැන් මෙතන හිටියා. තව ටිකකින් කළුවරත් වැටෙන පාටයි. පාක් එකේ සිමෙන්ති බංකුවට බර දීගෙන හිටපු මම එතනින් නැගිටිටටේ යන්න කියලා. ඒත් මට යන්න බෑ.
"මේ සිමෙන්ති බංකුව මාව අල්ල ගෙනවත්ද? ඇයි මට යන්න දෙන්නේ නැත්තේ. නැත්නම් මගේ හිත මට යන්න දෙන්නේ නැද්ද? "
නෑ හිත නෙමෙයි මේ බංකුව තමයි මට යන්න දෙන්නේ නැත්තේ. මටත් වඩා අපි කරපු කියපු දේවල් දන්නේ මේ බංකුව. වරුගනන් පැය ගනන් මේ බංකුවටම බර වෙලා අපි කරපු කියපු දේවල්. වෙලාව යනවා දැනුනේ නෑ අපිට.
"මේ බංකුව මේ තරම්ම හොඳට මැදිලා තියෙන්නේ අපි වගේ ම කාලේ කන්න මෙතනට ආපු පෙම්වතුන්ගේ බරට වෙන්න ඇති. "
මැලවෙලා යන බොරපාට ඉර එළිය මේ සිමෙන්ති බංකුව උඩට වැටෙද්දී මට හිතුනා.
ඉස්සර, පරක්කුවේගෙන එනකොට මම යං කියනකොට ඔයා බෑ කියනවා. තව ටිකක් ඉමු කියනවා. ඊට පස්සේ ඔයා යං කියන කොට මං බෑ කියනවා. තව ටිකක් ඔහේ ඉමු කියනවා. අන්තිමට මූනත් ඩිංගක් නරක් කරගෙන පොඩ්ඩක් තරහා වෙලා දෙන්නම යන්න යනවා. හැබැයි පාක් එකේ ගේට්ටුව ලඟට යද්දී ඔක්කොම තරහා නිවිලා. අපිටත් හොරෙන් අපේ අත් වැල් ආපහු පැටලිලා.
මේ පාරේ යන බස්වල ජරා සද්දෙයි, පාක් එකේ කෑ ගහන ජරා කාක්කොයි එදා අපිට ඇහුනේ නෑ. අපි හිටියේ වෙන ලෝකෙක. ඒත් අද මට ඒ හැම සද්දයක්ම ඇහෙනවා. එකක් නෑර ඇහෙනවා. මට හරිම හිරිකිතයි බස් සද්දේ. මට පේන්න බෑ මේ කැත කාක්කෝ.
"තොපි ඒ දවස් වල වගේම මට පේන්නේ නැතුව ඉඳපල්ලකෝ."
මං කෑ ගහලා කිව්වා. නෑ.මං කෑ ගහල නෑ. මං කෑ ගහල තියෙන්නේ හිත ඇතුලෙන්. ඒ දවස්වල වගේ හිතට එන ඕනම දෙයක් කියලා කෑ ගහන්න දැං මං මෝරලා වැඩියි. එදා වගේ නං නොසංදාල කොල්ලෙක් නිකං කෑ ගහනවා කියලා මිනිස්සු කියයි. අද එහෙම වුනොත් පිස්සු මිනිහෙක්. පිස්සෙක්ද කොහෙද. මිනිස්සු එහෙම කියයි.
"මිනිසුසංට පිස්සු. මං හොයන්නේ මගේ අතීතේ. මාව ජීවත් කරපු මගේ අතීතේ. මට හිතෙනවා ඒ අතීතේ මේ පාක් එකේ කොහේ හරි මුල්ලක වැලලිලා ඇති කියලා. මං හොයන්නේ එක. මිනිස්සුන්ට පේන්නේ ඔහේ කෑ ගහන මනුස්සයෙක් විතරයි. උන්‍ට පිස්සු. නෑ. මං කෑගැහුවේ නෑ. මිනිස්සු මට මොකවත් කිව්වෙත් නෑ. මං මොනාද මේ හිතන්නේ. මං හොයන්නේ මගේ අතීතේ. එහෙනං මොකටද මේ පිස්සු අදහස් මගේ ඔළුවට එන්නේ."
මං ආපහු හිට ගත්තා. මං යන්න ගත්තා. අඩියෙන් අඩිය ගේට්ටුව දිහාට මං ලං වුනා.
තරුණ වයසේ නාඹර ජෝඩුවක්. කෙල්ල අර කොල්ලගේ අතේ. නෑ නෑ කරේ එල්ලිලා. බලන්න ඒ කෙල්ලගේ ගවුම. ඔය වගේම කොලපාට එකක් ඔයාටත් තිබ්බා එදා. සිමෙන්ති බංකුවේ අළුත් කමට නූල් ඇදිච්ච ගවුං කොටේ මට තාම මතකයි.
"නෑ නෑ. මේ වගේ බොලඳ දේවල් හිතන්න මං දැං කොල්ලෙක් නෙමෙයි. ළමයි ඉන්න අප්පෙක්ට වෙන හිතන්න දේවල් නැද්ද? මං හිතෙන් කොල්ලෙක් වෙලා. මං හිතෙන්ම ඒ ලෝකේ තනි වෙලා. කාලයාගේ ඇවෑමෙන් හැම දේම වෙනස් වෙලා. පොඩි එකා ඉන්න නිසා, මං මේ ලෝකේ අනාථ වෙලා කියලා හිතන්නත් බෑ. ඒත්. අපි එදා හිතපු විදිහට නෙමෙයි මේ හැමදේම දැං වෙලා තියෙන්නේ. ඒ දවස් මගේ ජීවිතේට ආපහු එනව නං. මං හරි වාසනාවන්තයි. නෑ ඒත් එහෙම වෙන්න බෑ. මේ ඇත්ත ලෝකේ. මම ජීවත් වෙන්නේ අද. එදා නෙමෙයි."
මං හෙමින් සැරේ ගේට්ටුව පහු කරා. ටිකෙන් ටික ඉස්සරහට ඇදුනා. ෂෝට් ලීව් එකක් දැම්ම හංදා නොවෙන්න මට අපේම වෙච්ච දවස් මතක් කරන්න වෙන වෙලාවක් නෑ. මාර ගහ එක්කම තියෙන තැඹිලි තට්ටුව දැං හිස්. මනුස්සයා දවසේ වියදම හොයාගෙන ගෙදර යන්න ඇති. ඉස්සර මෙතනින් ගියොත් අපි තැඹිලි ගෙඩියක් නොවරදවාම බොනවා. තැඹිලි අංකල් පුරුද්දට ම බීලා ඉවරවෙච්ච ගෙඩිය දෙකට පලලා ලොඳ පිරිච්ච හොඳ පැත්ත දෙන්නේ ඔයාට. අංකල් දන්නවා ලොඳ වලට වැඩිය ආස කවුද කියලා. මං අද එනකොට දැක්කා. ඒ අංකල් දැං ටික ටික සීයා කෙනෙක් වේගෙන එනවා. මං හිනා වුනාට මනුස්සයා හිනාවුනා මිසක මිනිහට මාව මතක නැතුව ඇති. ඔන්න ඔයත් හිටියනං තැඹිලි අංකල්ට අපිව මතක් වෙයි.
හෙමීට මම පංතිය ලඟට ගියා.
මතකද අපේ පොඩි එකී ඉපදිච්ච දවස. එදා මමත් ආපහු ඉපදුනා. ඔයාගේ තුරුල්ලේ හිටපු පොඩි එකීගේ ඇස් දෙකෙන් මං දැක්කේ මාව.
"මං අම්මවයි උඹවයි පණ වගේ බලා ගන්නවා. සත්තයි. උඹලා දෙන්නා මට ලෝකයක් වටිනවා."
මං එදා හිතිං මිමුණුවා.
"මොකද ඔච්චර බලං ඉන්නේ. ආස නං වඩා ගන්න. හැබැයි වට්ටන් නෑ. මගේ පණ. "
ඔයා එහෙම කිව්වම, නුපුරුදු අත්දෙකෙන් පොඩ්ඩා වඩා ගත්තේ මම බයෙන්. වාට්ටුවේ මිනිස්සු මං දිහා බලනවද දන්නෑ කියලා මට හිතුනා. පොඩි එකී නුහුරට අතට ගත්තම මට රටක් රාජ්ජයක් හම්බ වුනා වගේ දැනුනා.
"වට්ටන්න... මේ මගේත් පණ. මං වැටුනත් මේ පණ වට්ටන්නේ නෑ."
මං කිව්වා මතකද? අනේ. මට එදාට ආපහු යන්න ඇත්තං. නෑ මට බොලඳ වෙන්න බෑ දැන්.
"මුදලාලී. මට විස්සේ චොකලට් එකක් දෙන්න."
මම ලඟම කඩේ මුදලාලිට රුපියල් විස්සක් දික්කරා. ඔරලෝසුව දිහා බැලුනෙත් නිකමට වගේ. හයට දහයයි. තව විනාඩි 10ත් තියෙනවා පංතිය ඉවර වෙන්න. ඔරලොසුවත් එක්කම මගේ ඇහැ ගියේ මං අමාරුවෙන් පුංචි ඇඟිල්ලට දාගෙන හිටපු ගෑණු මුද්දට. එදා හොස්පිටල් එකේ අන්තිම දවසෙදී ඔයා මගේ අතේ මේ මුද්ද ගුලි කරා. ඒත් මොනාවත් කිව්වේ නෑ. මං දිහා බලං හිටියා විතරයි. ඔයාගේ ඇහේ එක කඳුලක් වත් තිබ්බේ නෑ. තිබ්බේ බලාපොරොත්තුවක් විතරයි. ළමයි ගන්න ඇවිත් හිටපු අම්මලා තාත්තලා ගොන්න අස්සේ මං ඒ බලා පොරොත්තුව හෙව්වා.
"තාත්තී... "
ඔයාගේ ඒ බලාපොරොත්තුව ඇවිත් මගේ අතේ එල්ලුනා. ගවුං කොටෙත් උඩ දාගෙන දුවගෙන ආපු ඒ පුංචි කෙල්ල දිහාවට චොකලට් එක දික් කරන ගමන් මං ඒ ඇස් දෙක දිහා බැලුවා. මං දැක්කේ ඔයාව. මං ඔයාගේ බලාපොරොත්තුව පණ වගේ රකිනවා. සත්තයි.
"ඇයි තාත්තී බලං ඉන්නේ. තාත්තිට පරක්කු වුනාද?"
"නෑ මගේ පුතේ... අපි යං..."
පුංචි කෙල්ල මට දික්කරපු චොකලට් කෑල්ලකුත් කටේ දාගන්න ගමන් අනිත් අතෙන් අපේ බලා පොරොත්තුව එල්ලගෙන මං ඉස්සරහට අඩියක් තිබ්බා...
Tuesday, May 17, 2011
බලාපොරොත්තුව
නොසංදාලයාගේ කියුං නොසංදාලයාගේ. ඕන නොසංදාලයෙක් ඕනම නොසංදාල වැඩකට ගත්තට කමක්නෑ ගත්තු තැන කියලා. Powered by Blogger.
6 යි:
හනේ අම්මෙ...හිතට වැදෙන්න ලියලා තියෙනවා....නියමයි..>!!
හිත මොනාද වෙලා ගියා මේක කියවද්දි.
බලාපොරොත්තු තමා අපිව ජීවත් කරවන්නෙ..............
මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ සිද්ධි කාටවත් සැබෑ ලෝකයේදි නං වෙන්න එපා කියලා .....
Bunny - ස්තූති ඔබට
Pasan Buddhika - ඇත්ත. බලාපොරාත්තුවක් තමා මාවත් ජීවත් කරන්නේ. ස්තුති ඔබට
කල්හාර - එහෙම තමයි මමත් හිතං හිටියේ. ස්තූති ඔබට.
කියන්න වචන නෑ. හරිම සංවේදීයි.මෙයට ආසන්නයෙන් සමාන කතාවක්
මමත් අහල තියනවා.මේක කියවද්දි ඒ කතාව ආයෙ මතක්වුනා..
තීර්ත යාත්‍රිකයා- එහෙමද? ඔවැනි කතා දැන් සුලබයි.
Post a Comment
නොසංදාල කමට කිව්වයි කියලා හිතන් නෑ.