Thursday, May 26, 2011

වැස්සට ඉඩදෙන්න...

"කොටගල.. කොටගල.. කොටගල......"
"මහත්තයා, යනව නං නගින්න. අයේ පැය එක හමාරකට බස් එකක් නෑ..."

මා ඔහු ගනන් නොගෙන සිටි නිසාවෙන් මගින් හතර පස් දෙනෙක් පමණක් ජනේල අයිනට බර වී සිටි බසය කන්ද දිගේ පහලට ඇදෙන්නට විය.

කෙමෙන් කෙමෙන් වැහි කළුවර ද මෝදු වන්නට විය. කඳුකරේට වහිනවිට දර්ශණය මනරම්ය. එතරම්ම ගුප්තය. එතුල ගැබ්වුනා වූ භයානක කමක්ද දිස්වෙයි. හුදෙකලාව අනෙක් කරුණයි.

හුදෙකලාව උපරිමයෙන් අත්විඳින්නට කඳුකරයේ වැස්සකට මැදි වීම තරම් තවත් අත්දැකීම නැති තරම්ය. එය එතරම්ම හුදෙකලාය. මුළු වටපිටාවම නිහඬය. හිස්ය. ෆයිනස් ගස් අතුරෙන් කඳුකරය පිස හමා එන වැහි කෝඩය රැගත් සුළං ගංගාව නිසා නැගෙන ගැඹුරු "හ්ම්" හඬ නොවේනම් වෙනත් ශබ්දයක් නැති තරම්ය.

සැතපුම් ගණනක් ඈත පහල මිටියාවතකට පමණක් ලා හිරු එළියක් කලු වලාකුළු අතරින් යාන්තමට වැටී ඇත. එහා කන්දේ සිට මෙහා කන්දට "හෝ" ගාමින් වැස්ස ලඟා වන අයුරු බලා ඉන්නට ප්‍රියය. ඒ "හෝ" හඬ මා ආසන්නයේය.

දැං මුළු පළාතම වැස්සට නතුය. වැහි කිරිල්ලයකගේ වත් හඬක් නෑසේ. උන්ද නිවෙස් කරා ගොසිනි. කලින් අඳුර වැටී ඇතැයි උන් සිතන්නට ඇත.

කන්ද අයින දිගේ වැටී ඇති බස් යන පටු මාර්ගය ඔස්සේ වැහි වතුර පහලට ගලාගෙන යයි. ඒ බොරපාටය. පාරට ඉහලින් ඇති වනරොදේ ගස් අතුරෙන් රූරා වැටෙන වතුරද බොර පාටය. පහලට ගලාගෙන යන්නේද ඒ වතුරම විය හැකිය. තැන තැන මාර්ගය පලුදු වූ තැන්හී  පැදුනු වලක පිරි වතුරද ‍බොර පැහැතිය. අහසින් වැටෙන විට ඇති ලස්සන ගලා යන බොර වතුරේ නැත්තේය.

පරණ වූ කොන්ක්‍රීට් කණු හතරකින් සහ කොට බිත්ති වලින් වටවූ මේ කුඩා බස් නැවතුමේ වහලයද සිමෙන්තියෙනි. කොට බිත්ති වල එපිට පැත්තේ අඩියේ කොල පැහැ පාසි බැඳී ඇත. මෙපිට පැත්තේ ඇත්තේ සෙරෙප්පු අඩි පහර කිහිපයක් පමණි. කාලයක් පිලිසකර නොකිරීමෙන් අවපැහැ වී ඇති බස් නැවතුමේ සිට කඳුකරේ වර්ශාව විඳගැනීම මට කදිම අත්දැකීමකි. එය මට නව සොයාගැනීමක් ද විය.

කඳුකරය කොහොමත් සීතලය. අනෝරා වර්ශාව නිසා සීතල දෙගුණ වෙයි. වර්ශාවත් රැගෙන කඳු පංති උඩින් පාවී යන හුලං කෝඩය නිසා සීතල තෙගුණ වෙයි. හුලං සැරට ඇදේට වැටෙන වැස්ස, පිනක් වී බස් නැවතුම තුලටද ඇදෙයි. ඇඟේ දැවටෙක ඒ අයිස් බඳු වැහි හිරිකඩ නිසා සීතල වැඩි වන්නේ කී ගුණයකින්දැයි සිතීමට මම උත්සහ නොකළෙමි. ඒ වෙනුවට මම හුදෙකලා වැස්ස වින්දනය කළෙමි.

වැඩි ගනකමක් නැති අත්කොට කමිසයට උඩින් ඇඳ සිටි අත්නැති අළු පැහැ ස්වීටරය නිසා මඳක් සීතල පහවෙයි. ඒ උණුසුම මට කල්පනාවේ කිමිදෙන්නට ප්‍රමාණවත් නොවේ. අතේ පයේ හිරිගඩු පිපෙනෙදු දැනේ. මම දෑතම තදින් පපුව වටකරමින් බැඳගත්තෙමි.

මෙම මාර්ගයේ ගෙවල් ඉතාම දුලබය. ඉඳහිට හමුවන තේ දළු කිරන මඩුවක් හැරුණුකොට ගෙවල් ඇත්තේම නැති තරම්ය. ඉහලින් උස ෆයිනස් ගස්වලින් සැඳි වන රොදකි. පහලින් ද එයමය. තේ වගාව ඇත්තේ මීට එපිටිනි. එක දිගට ර‍ටාවට වැවූ ෆයිනස් ගස් පේලි අතුරෙන් සෑහෙන ඈතක් දිස්වෙයි. කන්ද ඉහලට බැලූවිට ඒ හිඩැස කෙමෙන් කුඩා වී නැති වී යයි. කන්ද පහලට බැලූ විටද එයම වූ නමුදු උඩ රට රේල් පාරද අපැහැදිලි ලෙස තැනින් තැන දිස්වෙයි. අද යාබද වතුවල තේ දළු නෙලන්නේ නැති දිනයක් විය හැක. නැතිනම් මේ වන විට දළු කූඩය පිටබැඳි, අවපැහැ රෙද්දක් ඔළුවේ ඔතාගත්, දිගු රිටක් අතින් ගත් දෙමළ ගැහැණුන් කිහිප දෙනෙකු වත් මේ පාරේ ඉහලට හෝ පහලට ඇදෙයි. අද කවුරුන්වත් නැත.  මොහොතකට කලින් මෙතැන පසු කර ඉහලට ඇදුනු ෆැක්ටරියේ දළු ලොරිය හැරුණුකොට මේ පාර අද හිස්ය. වෙනදාටත්  බසයක් හෝ වත්තේ ජීප් රථයක් හැර වෙන වාහනයත් මෙහි යන්නේ නැති තරම්ය. බීඩියක් බීමට හෝ කඩචෝරුවක් කෑමට බස් කුලිය ඉතුරු කරගෙන මාර්ගය පහලට ම වෙනදාට ඇවිදින මහල්ලලෙකු හෝ කුඩා ළමයකුද අද දක්නට නැත. මහ වර්ශාවේ ෆයිනස් හෙවනේ පටු මාර්ගය අද එතරම්ම පාලුය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය හුදෙකලාවකි. හුදෙකලාවත් එක්තරා කළාවක් වූ කලි, එය උපරිමයෙන් රස විඳින්නට මා පුරුදු වී අදට දෙමසකට වැඩි නොවේ. එවන් පරිච්ඡේද කාටත් ජීවිතය තුල හමුවේ. නමුත් අද මට එය අළුත් අත්දැකීමකි. බස් නැවතුමේ සිමෙන්ති වහලය දිගේ රූ‍ටා පැමිණි වතුර බිඳක් මගේ නළළට වැටිනි. වර්ශාව තවමත් එළෙසමයි. ඊලඟ වතුර බිඳුවෙන් බේරෙන්නට මම මඳක් මෑත් වීමි.

අතීතය සහ ඒ හා බැඳුනු රසමුසු දුක්මුසු තැන්හී තනිව සරන්නට, ඒ මතකයන් ඔස්සේ දිවයන්නට මෙය කදිම අවස්ථාවකි. දැන් මගේ හිතට නැඟෙන හිස් හැඟීම, බර ගතිය, ශෝකය, හුදෙකලාව පැහැදිලි කරන්නට වචන වලින් මම දක්ෂ නොවෙමි. තව පැයකට වත් බස් රථයක් මෙහි නෙඑනු ඇත්තේය. මිනිස් සුවඳක්වත් පේන මානයක් නැත්තේය. වර්ශාවට නතුව අඳුරු මාවත පසෙක හුදෙකලා බස් නැවතුමේ මා දැන් තනිය. අඳුර පරයා වර්ශාවද, වර්ශාව පරයා අඳුරද තරඟ කරයි. ඒ අයුරින්ම පාළුවද මා වෙලා ගනී.

දැන් මා අතීතයට යන්නට සූදානම්ය. මම කොට කොන්ක්‍රීට් තට්ටුව මත ඉඳ ගතිමි. පින්න දැන් එක එල්ලේ මගේ මුහුණේ වැදේ. අත තිබූ ලොම් තොප්පිය මම හිස දවටා ගතිමි. අත්ලට අත්ල අතුල්ලා පමණට උණුසුම් කරගත් පසු මා දැන් අතීතාවර්ජනයට සූදානම්ය.

හිතින් මම මගේ කතාව මුමුණමි. ඔබ අසා සිටින්න. නමුදු., කිසිත් නොකියන්න. වැස්ස මට හූ මිටි තබාවී. වැස්සට ඉඩ දෙන්න.

- මතු සම්බන්ඳයි -

16 යි:

This article is feeling to mind..

ස්තුතිය ඔබට කුමුදු

හරිම අපූරුයි!

හොද ආරම්බයක් දිගටම ලියන්න අනික වචන හෑසිරවීමත් බොහොමත්ම ලස්සනයි...ඉක්මනට අනික් කොටසත් දාන්න අපි බලාන ඉනන්වා..

කියන්න තියෙන්නේ එකම එක වචනයයි...
විශිෂ්ඨයි.......

හරිම ලස්සනයි...:)

ඇනොනිමස්- බොහොම ස්තුති.

අසංක- වැඩේ ආරම්භ කරන එක නෙමෙයි අමාරු. කරගෙන යන එක. ස්තුති ඔබට

ඇනොනිමස් - ස්තුති

තීර්ත යාත්‍රිකයා - ඔබේ අදහසට ස්තුතියි

මන්තරකාරි - බොහොම ස්තුතියි

ලිපි දෙකම කියෙව්ව. වචන වගේම හැඟීම් පෙල ගැස්මත් ඉහළයි.
දිගු ගමනක් යන්න සුබ පැතුම් !

ලස්සනට ලියල තියනවා වැස්ස ගැන ........
හිතට දැනුනා ........

වැස්ස,අඳුර,කඳුකරය සහ ඒ තනිකම...මැවිලා පේනවා..දිගටම ලියන්න මිත්‍රයා.

එල එල..මගෙ එකටත් ගිහින් බලන්න..
www.sabithl.blogspot.com

ඔයා ලියනව ගොඩක් ලස්සනයි.කියවද්දි ඒ කතාව,පින්තූර වගේ හිතේ මැවෙන තරම්...ඉක්මනට ඉතුරු ටිකක් ලියන්න.අපි කියවන්න බලාන ඉන්නවා.

Outsider- බොහොම ස්තූති මිත්‍රයා ඔබේ වදන් වලට. ඔබේ වචනත් මට ලොකු ධෛර්යයක්.

කල්හාර - බොහොම ස්තූතියි. අමුතු දෙයක් නෑ. මට දැනෙන දේ තමා ලියලා තියෙන්නේ. ස්තූතියි නැවතත්.

Sithuwilimandiya - දෙයක් දිහා බලා ගෙන ලියද්දී එහෙම වෙන්න ඇති. බොහොම ස්තූති.

සබිත් - ස්තුති.

නදී - ඉතුරු කොටස අද ලියනවා. අදත් ඒ වගේම වැස්ස. තාම ලියලා ඉවර නෑ. හෙට උදේට ඉතුරු කොටද දාන්නම්. ස්තුති ඔබට නදී.

ඉතා විශිෂ්ට රචනයක්.ඉතුරු ටිකත් දාන්න....

රන්දික - ස්තුති ඔබට. ඊලඟ කොටස දැම්මා.

Post a Comment

නොසංදාල කමට කිව්වයි කියලා හිතන් නෑ.

නොසංදාලයාගේ කියුං නොසංදාලයාගේ. ඕන නොසංදාලයෙක් ඕනම නොසංදාල වැඩක‍ට ගත්තට කමක්නෑ ගත්තු තැන කියලා. Powered by Blogger.